යාපනයේ පවුල් දෙකකට යුද්ධ හමුදාවෙන් නව නිවාස

අප්‍රේල් 11, 2023

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති යුද්ධ හමුදා භට පිරිස් විසින් පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව ඉදිකළ නව නිවාස දෙකක් අසරණ පවුල් වෙත පවරා දීම පසුගියදා යාපනය තුන්නාලෙයි සහ කට්ටුඩායි ප්‍රදේශයේ පැවති චාම් උත්සව දෙකකදී සිදුකරන ලදි.

කරවෙඩ්ඩි තුන්නාලෙයි (දකුණ) ප්‍රදේශයේ පදිංචි රදීස්වරන් රාසේශ්වරී මහත්මිය සහ ඇගේ ආබාධිත සැමියා සහ ඔවුන්ගේ දරුවන් හතර දෙනා වෙනුවෙන් මට්ටක්කුලිය සිංහ සමාජයේ සම්බන්ධීකරණයෙන් තබිතා චින්නයියා මහත්මිය සහ වන්නි ඒඩ් (Wanni Aid) සංවිධානය විසින් මෙම නිවස සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දී ඇති අතර 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නව නිවස ඉදිකර ලබා දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර, 51 වන පාබල සේනාංකයේ යටතේ ඇති 513 පාබල බලසේනාවේ සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් මානිප්පායි (බටහිර) කට්ටුඩායි ප්‍රදේශයේ පදිංචි ප්‍රනාන්දු රේනුෂාන් මහතාගේ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර පරිත්‍යාග කර ඇති අතර, අභාවප්‍රාප්ත තංගම්මා සින්නදුරෙයි මහත්මිය සහ එම මහත්මයා සිහිපත් කිරීම සඳහා කැනඩාවේ සිටින සින්නදුරෙයි සෙන්තිවේල් පවුල සහ 'වන්නි ඒඩ් කැනඩාව' සංවිධානය සමඟ එක්ව මෝදර/මට්ටක්කුලිය සිංහ සමාජය විසින් මෙම නිවාස ඉදිකිරිම සදහා මුල්‍ය අනුග්‍රහය ලබා දී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ එම නිවාස දෙක සඳහා මූල්‍ය අනුග්‍රහය මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) විසින් සම්බන්ධීකරණය කරන ලද බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිවාස ප්‍රදානය කිරීමේ උත්සව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින්, එම පවුල්වල ඥාතීන් සහ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.