ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

මැයි 02, 2023

ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී ආර් චෞද්රි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 02) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

එහි පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ඉතා උණුසුම් ලෙස පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය.

ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති සහයෝගිතාව සහ සහය වෙනුවෙන් කෘතඥතාව පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ කලාපීය ආරක්‍ෂාව සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

උණුසුම් පිළිගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ එයාර් චීෆ් මාර්ෂල් චෞද්රි අතර දෙරට අතර දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව අඛණ්ඩව පැවතිය යුතු බවත් ඒ සඳහා තමාගේ සහය ලබා දෙන බවත් පැවසීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ඉන්දීය ගුවන් හමුදා නියෝජිත පිරිසට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් ද ඇතුළත් විය.