මොඛා (Mocha) දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ

මැයි 12, 2023

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින මොඛා සුළි කුණාටුව ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු අගවයි. එය අද දින (මැයි 12) උදෑසන 05:30 වනවිට 13.20N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතිණි.

එය තවදුරටත් වර්ධනය වෙමින් උතුරු-ඊසාන දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එය මැයි 14 දහවල් පමණ වන විට ගිනිකොණදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද සඳහන් කරයි.

නැවත දැනුම් දෙන තුරු (05N - 20N) සහ (83E - 100E) වූ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසත් එම මුහුදු ප්‍රදේශ වල සිටින අයට නැවත වෙරළට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු අඟවයි.

ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද, ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නියැලීමේදී අවධානයෙන් පසුවන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.