හමුදාවන්හි අනුමත සංඛ්‍යාව පවත්වා ගනිමින්
සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර -
ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය ඇමති
එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් හමුවේ පවසයි

මැයි 16, 2023

•     ආරක්‍ෂක කටයුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමුවේ.

ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සබැඳිව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා නියෝජ්‍ය සහකාර ලේකම් අක්තර් මහත්මිය වෙත ඊයේ (මැයි 15) කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති රැස්වීමකදී මෙම අදහස් පළ කරන ලදි.

එක්සත් ජනපදය විසින් ලබාදී ඇති සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳ සිහිපත් කළ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් දෙරට අතර හමුදාමය සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව මංපෙත් පිළිබඳව ද සාකච්ඡා කළේය.

සමුද්‍රීය දැනුවත්භාවය සහ සමුද්‍රීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීම සඳහා එක්සත් ජනපදය විසින් දරණ උත්සාහයන් සහ ආරක්‍ෂක ප්‍රතිපත්තියේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ අනෙකුත් කලාපීය ගැටළු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් පිළිබඳව ද මෙහිදී පැවැති ඵලදායි ද්විපාර්ශවික සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් හට විදේශ සාමසාධක රාජකාරීන්හි අවස්ථා පිළිබඳව කරුණු ද මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක්විය.

මෙම‌ හමුව සංකේතවත් කරමින් නියෝජ්‍ය සහකාර ලේකම්වරිය, රාජ්‍ය අමාත්‍යවරයා වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවිය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ සොනෙක් (Douglas E. Sonnek), තානාපති කාර්යාල නිලධාරීන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.