14 වැනි ජාතික රණවිරු දිනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මැයි 20, 2023
  • රණවිරුවන්ගේ කැපකිරීම් සිහිපත් කරමින් ජාතියේ කෘතඥතාව පුද කරයි

14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මාතෘභූමිය සහ ජනතාව ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ වීරත්වය සහ ඔවුන්ගේ පරාර්ථකාමී සේවයට උපහාර පිණිස සෑම වසරකම මැයි 19 වන දින ජාතික රණවිරු දිනය සමරනු ලබයි. මාතෘභූමියේ නිදහස සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර සාමයේ සහ එකමුතුකමේ යුගයක් උදා කිරීමට අභීත රණවිරුවන් කළ උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කරමින් මෙම ජාතික උත්සවය සෑම වසරකම සමරනු ලබයි.

ජීවිත, දේපළ විනාශ කරමින් මෙරට ජනතාවට කියා නිම කළ නොහැකි තරම් දුක්ඛිත තත්ත්වයන් ගෙන ආ මෙලෙච්ච කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීමටත් දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කරමින් 2009 මැයි 18 වැනි දින රටට සාමය ගෙන ඒමටත් මෙරට සන්නද්ධ හමුදාවන් සමත් විය.

සැමරුම් උත්සවය ආරම්භයේදී රණවිරුවන් සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයේදී ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පිරිනමමින් රණවිරුවන්ට උපහාර පුද කළේය. ඉන් අනතුරුව සෙසු ප්‍රභූවරුන් විසින් පුෂ්පෝපහාර දැක්වීය.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සටන් වැදුණු රණවිරුවන්ගේ උදාරතර කැපකිරීම් මෙහිදී ප්‍රශංසාවට ලක් වූ අතර මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්,රණක්ෂිතයට පත් රණවිරුවන් ඇතුළු පැමිණ සිටි පිරිස් ඔවුන් අභිමානයෙන් හා කෘතවේදීව සිහිපත් කළහ.

රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සුබසාධන කටයුතු සිදු කරන රාජ්‍ය ආයතනය වන රණවිරු සේවා අධිකාරිය රණවිරු දින උත්සවය සංවිධානය කිරීමට පුළුල් වැඩපිළිවෙලක් යොදා තිබුණි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ,සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2009 මැයි මාසයේ අද වැනි දිනක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීම සහිපත් කරමින් සාමයේ නිදහසින් ,එකමුතුකමින් සහ අලුත් බලාපොරොත්තු ඇතිව තවත් වර්ෂ පුර්ණ සැමරුමකට අප අවතීර්ණ වෙන මේ මොහෙතේ අපි සැවොම එකමුතුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව අපේ මාතෘභූමිය නගාසිටුවීමට ඒකා මෙන් පෙළ ගැසෙමු.