ජපාන - ලංකා මිත්‍රත්ව සංගමය වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ගිනි නිවීමේ ආධාරක පරිත්‍යාගයක්

මැයි 23, 2023

ගුවන් හමුදා මාධ්‍යවලට අනුව, ජපාන - ලංකා මිත්‍රත්ව සංගමය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවන මෝටර් රථයක් සහ අහස් ඉනිමං සහිත රථ දෙකක් පසුගිය සඳුදා (මැයි 22) දින පැවති උත්සවයකදී ප්‍රදානය කරන ලදි.

Goto Hideaki මහතා ඇතුළු දූත පිරිසකගේ නොමසුරු සහයෝගය ඇතිව ජපාන - ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගුවන් හමුදා සාමාජිකයින්ගේ පාසල් සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව 13 ක් සහ ඇස් කණ්නාඩි විශාල ප්‍රමාණයක්ද පිරිනමා ඇත.

ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ජපාන - ලංකා මිත්‍රත්ව සංගම් නියෝජිත පිරිසක් විසින් මෙම පරිත්‍යාගය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ වෙත භාර දෙන ලදි.

ජපන් - ලංකා මිත්‍රත්ව සංගමය විසින් 2015 වසරේ සිට ගිනි නිවන රථ 10 ක්, ගිලන් රථ 08 ක්, හැසිරීවිය හැකි ඉණිමඟ සහිත වාහන 03 ක් සහ ගිනි නිවන මෝටර් කාර් රථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනමා ඇත.

Goto Hideaki මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම උත්සවයට එක්ව සිටියහ.