මඩකලපුව සහ මන්මුනේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා
යුධ හමුදා භට පිරිස් දායක වෙති

මැයි 23, 2023

රජයේ ඩෙංගු මර්දන වැඩසටහනට අනුකූලව මඩකලපුව සහ මන්මුනේ නගර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරීන්හී නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් පසුගියදා සිදුකරන ලදි.

23 වන පාබල සේනාංකයේ 231 වන පාබල බලසේනාවේ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 4 වන ගැමුණු හේවා බලඇණිය භට පිරිස් සමග මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සිදුකල බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රදේශයේ ස්වේච්ඡා සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ.

මෙම වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්‍ෂා කරන ලද අතර, තම ගෙවත්ත පිරිසිදුව හා පිළිවෙලට තබාගන්නා ලෙස ප්‍රජාව වෙත උපදෙස්ද ලබාදෙන ලදි. තවද මහජන ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍ය පරිදි අනතුරු ඇඟවීම් ද නිකුත් කරන ලදි.