ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි

මැයි 24, 2023

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාවේ ඇති බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ මෙන්ම, ජාත්‍යන්තර මුහුදේ යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයන්හිදීද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව, ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයේ එම යාත්‍රාව සෙවීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් කලාපීය රටවල සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන මඟින් ඒ වන විටත් ආරම්භ කර තිබූණි. ආපදාවට පත් යාත්‍රාව අසලට ළඟාවූ විජයබාහු නෞකාව, උඩුකුරුව පෙරළී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවේ ඇතුලත වායු රික්තක තුල තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් කිමිදුම් මෙහෙයුමක් ආරම්භ කරන ලදි. එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය, මුහුදු ජලයේ දුර්වල දෘශ්‍යතාවය සහ විසිරුණු ධීවර ආම්පන්න මධ්‍යයේ දින තුනක් (03) පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ කපිතාන් වරයාගේ මැදිරියෙන් සහ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු දෙකක් (02) සොයාගත් නාවික හමුදාව, එම මළසිරුරු පාර්ශ්වයන් අතර විධිමත් එකඟතාවයකට අනුව එම ස්ථානයේ තිබූ De Tian නම් චීන ටග් යාත්‍රාව වෙත භාරදීම සිදු කෙරිණි.

එමෙන්ම, ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ නවාතැන් ගන්නා කාමර තුල සහ අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් (12) නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගනු ලැබුවද, එම මළසිරුරු වල නරක් වූ ස්වභාවය සහ ඒවා ගොඩගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් හට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින්, එම මළ සිරුරු දොළහ (12) ඇති ස්ථාන සිතියම් ගතකල නාවික හමුදා කිමිදුම් කණ්ඩායම එම තොරතුරු සහ සිතියම් මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳවත්, අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුළු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳවත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක්, ‘MV SHANDONG DE LONG’ නමැති චීන කිමිදුම්කරුවන් රැගෙන එම ස්ථානයට ලඟාවූ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කිමිදුම් කණ්ඩායමට අද දින (2023 මැයි 23) ලබා දෙන ලදි.

තවද, ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිරවී සිටි ධීවරයින් සෙවීම සඳහා ශ්‍රී නාවික හමුදාව සිදුකළ කිමිදුම් මෙහෙයුම අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව 2023 මැයි මස 22 වන දින නැවත කොළඹ වරාය බලා ගමන් ආරම්භ කෙරිණි.

අනුග්‍රහය - www.navy.lk