පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජුනි 02, 2023

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘PNS SHAHJAHAN’ නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 169 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ADNAN LAGHARI TI කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 ජුනි 02) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.

එමෙන්ම, ‘PNS SHAHJAHAN’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘PNS SHAHJAHAN’ නෞකාව 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk