ගුවන් හමුදාවෙන් මහරගම අපේක්‍ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක්

ජුනි 05, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම 'අපේක්‍ෂා රෝහල' වෙත රුපියල් ලක්ෂ 15ක් වටිනා විශේෂ පරිත්‍යාගයක් පසුගියදා සිදුකළේය.

රට පුරා සිටින පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට කාලෝචිත, සුදුසු සහ ප්‍රශස්ත ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලට සහාය වීම අරමුණු කර ගත් මෙම පරිත්‍යාගය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කර ඇත.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් මෙම පරිත්‍යාගය අපේක්‍ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ලලිත් කෝදාගොඩ මහතා වෙත භාරදෙන ලදි.

මෙම පරිත්‍යාගය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ඔවුන්ගේ භාර්යාවන් සහ ගුවන් භටයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.