වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි විහාර වැඳපුදා ගනී

ජුනි 20, 2023

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සඳුදා (19) සවස මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හා අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මල්වතු මහා විහාරයට පැමිණ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක නාහිමියන් බැහැදැක සුවදුක් විමසාබලා කෙටි පිළිසඳරක නිරත වූ අතර, උන්වහන්සේ වෙත අටපිරිකර ද පූජා කරන ලදි.

අනතුරුව අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි මාහිමිපාණන් වහන්සේ ද බැහැදකින ලදි.

නාහිමියන් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ තෙන්නකෝන් අමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසාබලා අටපිරිකර ද පූජා කළේය.

අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හා අනුනායක හිමිවරු අමාත්‍යවරයාට ආශිර්වාද කර සෙත් පතන ලදි.

අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සිය සංචාරය අතරතුර මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට ද සපැමිණි අතර, එහිදී විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමියන් විසින් පැමිණි සිටි අමාත්‍යවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.