වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික කර්මාන්ත ප්‍රදර්ශණය නැරඹීමට

ජුනි 25, 2023
  • ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශණ කුටි අමාත්‍යවරයාගේ පැසසුමට
  • තරුණයින්ගේ සිතුම් පැතුම් හා ආකල්ප යහපත් වෙනසකට ලක් කල යුතුයි

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය වූ අද (ජූනි 25) ප්‍රදර්ශණ කුටි නැරඹීමට වැඩබලන ආරක්‍ෂක ඇමති ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් විය. පුරා දින 04ක කාලයක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශණයට සිය දායකත්වය දක්වමින් ප්‍රදර්ශණ කුටි එක් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා අදාළ ආයතන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්කරන ලදි.

දේශීය කර්මාන්ත සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කරන ලද දැවැන්ත ප්‍රදර්ශණය ජූනි 22 සිට 25 දක්වා බණ්ඩාරණායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේදී පැවැත්විණ. ඉතිහාසයේ පළමු වතාවට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් නියෝජනය කරමින් ප්‍රදර්ශණ කුටි 750 ක් පමණ මෙවර ප්‍රදර්ශණය සඳහා එක්කර තිබීමද සුවිශේෂි කරුණක් විය.

සාමය ලබා ගැනීමට වසර තිස්දෙකක් යුධ වැදුණු අපි යුද්ධය සඳහා අවශ්‍ය වන එක පතුරමක් වත් අප රට තුල නිෂ්පාදනය කර නැහැ. නමුත් මේ වන විට ආරක්‍ෂක අංශ සඳහා අවශ්‍ය වන පතුරම් නිෂ්පාදනය ගිය වසරේ සිට අප ආරම්භ කර තිබෙන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් ආරක්‍ෂක අංශයන්හි අවශ්‍යතාව සඳහා ගැලපෙන පරිදි රථවාහන නවීකරණය කිරීම හා අගය එකතු කිරීමද සිදුකරනු ලබනවා. එමගින් අප රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට හැකි වී ඇති බවත්, වර්තමාන තරුණ පරපුරේ සිතුම් පැතුම් හා ආකල්ප යහපත් වෙනසකට ලක් කල යුතු බවත් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් පවසා සිටින ලදි.

මෙම අවස්ථාව සඳහා මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටින ලදි.