වවුනියා සිවිල් වැසියන්ට යුද හමුදාවේ සෞඛ්‍ය ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ

ජුනි 30, 2023

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුධ හමුදා ක්ෂේත්‍ර රෝහලේ දී  පසුගියදා ලේ පරිත්‍යාග වැඩසටහනක්  සංවිධානය කර වවුනියාව දිස්ත්‍රික් රෝහලේ පිහිටි ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදි.

නිලධාරීන් සහ සෙසු නිලයින් 136 දෙනෙකු ස්වේච්ඡාවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් යුද හමුදාව වෙත සිය කෘතඥතාව පළ කර ඇති අතර, ලේ හිඟයක් පැවති අවස්ථාවේදී ලේ බැංකුවට අවශ්‍ය සහයෝගය ලබාදීම පිළිබඳව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරයාට විශේෂ ස්තුතිය පුද කර ඇත.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II ඩී.එම්.ඩී.ආර් ප්‍රියංක 37 වතාවක් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් බී.ඩී.එල්.පී තිලකසිරි 45 වතාවක් ලේ දන් දී තිබූ අතර, මෙම ලේ දන්දීමේ වැඩසටහනේ දී  ඔවුන් වෙත ලේ බැංකුවේ නිලධාරීන්ගේ සුරතින් ඇගයීමේ සහතික පත් පිරිනමන ලදි.

මේ අතර, 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ භටපිරිස්වල සම්බන්ධිකරණයෙන් වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් ඊච්චන්කුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන සිවිල් ජනතාව වෙත ජංගම වෛද්‍ය සායන කඳවුරක් පසුගිය දා තවුසියාකුලම් රජයේ පාසල් පරිශ්‍රයේ දී පැවැත් වූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

මෙම වෛද්‍ය සායන කඳවුර මගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 200 කට අධික පිරිසකට බෝ නොවන රෝග, රසායනාගාර පරීක්‍ෂණ, ස්කෑනිං පරීක්‍ෂණ සහ දන්ත වෛද්‍ය ගැටළු සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදුන් බව හමුදාව තහවුරු කළේය.