මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩ භාර ගනී

දෙසැම්බර් 14, 2020

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (දෙසැම්බර් 14) දින වැඩ භාර ගත්තේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  දෙසැම්බර් 10 වන දින නව අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් අල්විස් පත් කරන ලදි.
 
කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරගේ විෂය පථය යටතේ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය පාලනය වේ.

මහා සංඝරත්නය, මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චිත්‍රානි ගුණරත්න, අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන්, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, රණවිරු සේවා අධිකාරියේ සභාපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කොළඹ ලොජිස්ටික් කණ්ඩායම් සමූහ උපදේශක යන අයද  උත්සවයට  සහභාගී විය.