නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 07, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ (ජුලි 06) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ගුවන් හමුදාපතිවරයා ආරක්‍ෂක ලේකම් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවේදී,  ආරක්‍ෂක ලේකම්වරයා නව ගුවන් හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ඔහු වෙත සිය සුබ පැතුම් ද එක් කරන ලදි.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ විශ්‍රාම යාමෙන් අනතුරුව එයාර් වයිස් මාර්ෂල් රාජපක්‍ෂ ජුනි මස 30 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස් කර 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරන ලදි.

ආරක්‍ෂක ලේකම් සහ ගුවන් හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙම හමුවේදී සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.