රණවිරු සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවක් අලුතෙන් ලිය වෙයි

ජුලි 15, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 1997 අගෝස්තු මස 21 වන දින ත්‍රස්තවාදීන් විසින් අටවන ලද මර උගුලකට හසු වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී නෙලුම් කුමාර වෙත කෘතිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදුකලේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් LN4 කෘතිම අත් ලබාදීමේ ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන කරන මොහාමඩ් සමූන් මහතා විසින් 2023 ජූලි මස 12 වන දින රණක්‍ෂිතයට පත් රණවිරු නෙලුම් කුමාර මහතා සදහා LN4 වර්ගයේ කෘතිම අතක් පරිත්‍යාග කිරීම රණවිරු සේවා අධිකාරියේ දී සිදුකරන ලදි.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ක්‍රියාන්විත හේතූන් මත මැණික් කටුව අසලින් එක් අතක් අහිමි වූ රණවිරුවන් සදහා කෘතිම අත් සකසා දී තිබුණද එම කෘතිම අත භාවිතයෙන් යමක් සිදුකර ගත නොහැකි අතර, එය හුදෙක්ම අතක පෙනුම ලබාගැනීම සදහා භාවිතා කරනු ලබන ආදේශකයක් වශයෙන් පමණක් භාවිතා කරන ලදි.

මෙම ඇමරිකාවේ නිෂ්පාදිත LN4 වර්ගයේ නවීන තාක්‍ෂණයෙන් යුත් කෘතිම අත අනෙක් අතෙහි ආධාරයෙන් ක්‍රියා කළ හැකිය. මෙම නව කෘතිම අත මගින් අනෙක් අතෙහි ආධාරයෙන් යමක් අල්ලා ගැනීමට ,රඳවා ගැනීමට සහ ලිවීමට ආදී කටයුතු ස්වාධීන ලෙස කර ගැනීමට හැකියාවක් ඇත. මෙම කෘතිම අත බරින් ඉතාම අඩු අතර භාවිතයද ඉතාම පහසුවේ. වර්තමානයේ පවතින පුනරුත්ථාපන ක්‍රමවේදයට ඔබ්බෙන් නව තාක්‍ෂණයෙන් යාවත්කාලීන වුණු ආබාධිත සහයක උපකරණ ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම කෘතිම අත ලබාදීම සැලකිය හැකිය.

උපතින් දකුණත භාවිතා කරන්නෙකු වූ රණවිරු නෙළුම් කුමාර මහතා වර්ෂ 1997 තම අත අහිමි වීමෙන් අනතුරුව වම් අතින් සියලුම වැඩ කටයුතු කිරීම සඳහා ස්වෝත්සාහයෙන් පුරුදු පුහුණු වී ඇත.

විසිතුරු මත්ස්‍යය ව්‍යාපාරයක් තම ස්වයං රැකියාව වශයෙන් පවත්වාගෙන යමින් වමතින් සියලුම කටයුතු සිදුකරමින් යතුරු ලියනය සහ අකුරු ලිවීමේ කටයුතු ද තමන්ට නුහුරු වමතින් සිදුකිරීමට පුරුදු වූ මෙම වීරෝදාර රණවිරුවා වසර 25 කට පමණ පසුව නැවතත් මෙම කෘතිම අත භාවිතයෙන් දකුණු අතින් ලියැවුණු ප්‍රථම අත් අකුර වශයෙන් තම නම පුංචි කඩදාසි කොළයක රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඉදිරියේදීම සටහන් කරන ලදි.

වසර 23ක රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙවැනිම කෘතිම අත් අවශ්‍ය රණවිරුවන් වෙනුවෙන් අනාගතයේදීත් නොමිලේ සැපයීම සඳහා අප සභාපතිතුමන්ගේ ඉතා සමීප මිතුරෙකු වන මෙම පරිත්‍යාගශීලී මහත්මා එකඟතාවය පළ කරන ලදි. සමස්ත රණවිරු ප්‍රජාවේ අවශ්‍යතාවය හඳුනන යුද්ධයෙන් ඉතා දරුණු ලෙස තුවාල සිදු වූ ජාතියේ පිනට තම ජීවිතය බේරුණු වර්තමාන සභාපතිතුමා විසින් රණවිරු ප්‍රජාව උදෙසා සිදුකරන කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් මෙවැනි පරිත්‍යාගයන් අනාගතයේ දී තව තවත් සිදුකිරීමට කටයුතු කරන බව පරිත්‍යාගශීලී මහත්මා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔබේත්, රටේත් නිදහස වෙනුවෙන් කැප වුනු මෙවැනි උතුම් විරෝධාර රණවිරුවන්ගේ ජීවයට සවියක් වන්නට, මුවගට සිනහවක් ගෙනෙන්නට, ජීවිතය සවි බල ගන්වන්නට අප හා සම්බන්ධ වෙන මෙන් ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමු.