ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් ‘Sharp Blade-2023’ ජාත්‍යන්තර ස්නයිපර් තරඟාවලියේ හොඳම කණ්ඩායම්
ක්‍රියාකාරකමට හිමි සම්මානය චීනයේ දි දිනාගනි

ජුලි 24, 2023

චීනයේ, උරුම්කි ප්‍රදේශයේ චීන මහජන සන්නද්ධ පොලිස් බලකායේ පුහුණු කඳවුරකදී පැවති ‘Sharp Blade-2023’ ජාත්‍යන්තර ස්නයිපර් තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් හොඳම කණ්ඩායම් ක්‍රියාකාරකමට හිමි සම්මානය දිනාගත්හ.

බෙලරූස්, පාකිස්තානය, කුවේට්, දකුණු අප්‍රිකාව සහ ඩොමිනිකන් ජනරජය ඇතුළු රටවල් 18 ක ස්නයිපර් වෙඩික්කරුවන් 46 දෙනෙකු මෙන්ම චීන හමුදාව සහ පොලිස් ඒකකවල ස්නයිපර් කණ්ඩායම් හතක් ජුලි මස 9 සිට 16 දින දක්වා තරඟවැදුණු අතර එහිදී මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගැමුණු හේවා බලකායේ මේජර් ආර්.එම්.ටී.එම්. රත්නායක සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කපිතන් ආර්.ටී.ඩී. පෙරේරා සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

නවතමයෙන් සකස්කරනු ලැබූ අභියෝගාත්මක සැඟවුණු වෙඩික්කරු ක්‍රමවේදනයන්ගෙන් සමන්විත වූ මෙම තරඟාවලියේදී සහභාගිවන්නන් දෙදෙනෙකුට විවිධ ප්‍රමාණ සහ ඉලක්ක රටා හොඳින් හඳුනාගෙන තත්පර 120 ක් ඇතුළත වෙඩිතැබීමේ වට පහක් සම්පූර්ණ කිරීමට සිදු වේ. එමෙන්ම, චලනය වන ඉලක්කපත් වලට කෂණිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වේ.

මෙම තරඟය මඟින් නිරවද්‍ය ස්නයිපර් වෙඩිතැබීම, චලන - ඉලක්ක ස්නයිපර් වෙඩිතැබීම සහ ස්ථාන - භ්‍රමණ ස්නයිපර් වෙඩිතැබීම ඇතුළු කාණ්ඩ හතරක් යටතේ තරඟ අදියරයන් 12 ක් ක්‍රියාත්මක වූ බව ද යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.