ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

සැප්තැම්බර් 02, 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘INS Delhi’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් අද උදෑසන (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

එමෙන්ම, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘INS Delhi’ නෞකාව නැරඹීම සඳහා පාසල් ළමුන් හට අවස්ථාව ලබාදීමටත්, නෞකාව තුල පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇති අතර, නෞකාව 2023 සැප්තැම්බර් මස 03 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටත් නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk