ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට වසර 79 ක් සපිරේ

සැප්තැම්බර් 04, 2023
  • සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ආරක්‍ෂක ලේකම්
  • විශ්‍රාමික රණවිරුවන් රැකබලා ගැනීමට වැඩපිළිවෙලක් ඇරඹීමට ආරක්‍ෂක ලේකම් වරයාගේ අවධානය

 ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 79 වන සංවත්සර දින සැමරුම ඊයේ (සැප් 03) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා විසින් (විශ්‍රාමික) ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

1944 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය, අනුබද්ධ සන්නද්ධ හමුදා සංගම් 48 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 45,000 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සංගමයක් වන අතර, මෙම සංගමයේ 79 වන සංවත්සර සැමරුම් උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රට වෙනුවෙන් දිවි පිදූ සහ විශ්‍රාමික සියළුම රණවිරුවන් මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන ලදි.

විශ්‍රාම යාමෙන් අනතුරුව විවිධ හේතුන් මත අසරණ තත්ත්වයට පත්වන රණවිරුවන් රැකබල ගැනීමට වැඩිහිටි නිවාස සංකීර්ණයක් හා ඔවුන් රැකබල ගැනීම සදහා අවශ්‍ය මුල්‍යධාර සපයා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අදහස් කර ඇති බව මෙම උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් වරයා ප්‍රකාශ කළේය. තවද, රජයේ කිසිදු අරමුදලක් භාවිතා නොකර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටළු නිරාකරණය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා හා මුදල් අමාත්‍යාංශය විසින් ලබාදෙන සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය ප්‍රණාමයද මෙම අවස්ථාවේ පුද කර සිටියේය.

 ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සේවාමුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) සහ සේවාමුක්ත භට සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.