ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන‍යෙහි අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස
කර්නල් නලින් හේරත් වැඩ භාර ගනී

සැප්තැම්බර් 04, 2023

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අභිනවයෙන් පත්වූ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස කර්නල් නලින් හේරත් අද (සැප්. 04) බත්තරමුල්ල සුහුරුපාය හි පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ වැඩ භාරගන්නා ලදි.

2023 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස කර්නල් නලින් හේරත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පත් කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ - මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස දැනට දරණු ලබන තනතුරට අමතරව ඔහු වෙත නව තනතුරෙහි රාජකාරින් පැවරේ.

කර්නල් හේරත් පසුගිය සතියේ දී (අගෝ. 31) ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

වසර 28කට වැඩි සිය හමුදා සේවා කාලය තුල මාණ්ඩලික, උපදේශන සහ පරිපාලන තනතුරු හොබවා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන කර්නල් නලින් හේරත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීන උපදේශකවරයෙකු ද වේ. ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්හි අභියෝගාත්මක පරිසරයක ක්‍රියා කළ හැකි අන්තර් නියෝජිත කණ්ඩායම් කළමනාකරණය කිරීම, මෙහෙයවීම සහ උපාය මාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනැගීම පිළිබඳ විශේෂඥයෙකි.