ඇහැලියගොඩට නායයෑමේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

සැප්තැම්බර් 05, 2023

• වර්ෂාපතනය දිගටම පවතින බැවින් දිස්ත්‍රික්ක 5 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත

රත්නපුර හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශවලට 3 වන මට්ටමේ (රතු) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්වලට අනුව රත්නපුර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 2 මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව ගාල්ල සහ මහනුවර ප්‍රදේශ කිහිපයකට 1 මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් 5 නිකුත් කර ඇති කාලගුණ අනාවැකියෙන් පෙන්වා දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එහි සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් (40-50) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට කේන්ද්‍රගතව සෘජුවම සූර්යයා ඉහළින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි. එම වාර්තාවේ පරිදි අද දහවල් 12.09 ට පමණ බම්බලපිටිය, මාලිබොඩ, කැප්පෙටිපොල, බඩල්කුඹුර සහ පොතුවිල් නගරවලට හිරු මුදුන්ව පවතිනු ඇත.