ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුග්‍රහය යටතේ
ජාතික ශිෂ්‍යභට බළකාය පුළුල් වේ

සැප්තැම්බර් 05, 2023
  • රාජ්‍ය අමාත්‍යවරයා මුලතිව්හි ජාතික ශිෂ්‍යභට බළකායේ 2 වන පුහුණු මධ්‍යස්ථානය නිළ වශයෙන් භාරගනී 

ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා මුලතිව් හි ශ්‍රී ලංකා යුද හමුදාව අයත්ව තිබු පුහුණු මධ්‍යස්ථානයක් ‍ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් සැප්තැම්බර් 04 වැනි දින නිළ වශයෙන් භාරගන්නා ලදි.

ඒ අනුව, යුද හමුදාපති නියෝජනය කරමින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.ඒ.කේ දොලගේ සහ ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එස්.ෆොන්සේකා යන නිලධාරීන් ඉදිරියේ 59 වන සේනාංකයට අයත් තිබු පාබල බලඇණි පුහුණු මධ්‍යස්ථාන පහසුකම් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදි.
 
වසර 142 ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ජාතියේ අනාගත නායකයන් බිහි කිරීමට පාසල් සිසුන් හැඩගන්වන එකම ආයතනය වන්නේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයයි.
 
ජාතික ශිෂ්‍යභට බලකායේ ඉදිරි සැලසුම් වලට අනුව බලඇණි, පළාත් සහ ජාතික මට්ටමේ කඳවුරු සඳහා සහභාගී වන ශිෂ්‍ය භටයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට හා ජාතික ශිෂ්‍යභට බලකා නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින් පුහුණු කිරීම සඳහා මෙම පහසුකම් යොදා ගනු ලැබේ. ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සහ නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා වන ඉහළ ඉල්ලුම සපුරාලීම ද මෙමගින් අපේක්‍ෂා කරන අතර, එමඟින් ජාතියට අනාගත නායකයින් බිහිකිරීමේ ප්‍රතිලාභයද හිමිවේ.

මෙම පුහුණ මධ්‍යස්ථානය පිහිටුවීමත් සමගම දිවයිනේ සෑම ජාතික පාසලකම ශිෂ්‍යභට ඛණ්ඩයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පය තුලින් අනාගත පරපුර නායකයින් ලෙස පුහුණු කිරීමටත් රටේ උතුරු-නැගෙනහිර සහ දකුණු අතර සංහිඳියාවේ රාමුව තුළ සමගිය සහ සහජීවනය ගොඩනැගීමටත් හැකිවනු ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ, විදුහල්පති සේවයේ සහ ගුරු සේවයේ නිලධාරීන් 1000ක් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත බඳවා ගැනීමට රජය දැනටමත් කටයුතු යොදා ඇත.
 
ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා 1988 දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ස්වාධීන ආයතනයක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකාය පිහිටුවීමට පුරෝගාමී වූ අතර, 1990 දී රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමටද සහාය විය.

ජාතික ශිෂ්‍යභට බලකාය වෙත 2023 වර්ෂයේදී ජනාධිපති වර්ණ සහ ජාතික ශිෂ්‍යභට බලකා වර්ණ ප්‍රධානය කරන ලදි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ජාතික ශිෂ්‍යභට බලකායේ උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් ඩී.එම්.ජී දිසානායක, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ කැඩෙට් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.