කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ඇරඹේ

සැප්තැම්බර් 07, 2023

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (සැප්තැම්බර් 07) විශ්වවිද්‍යාලිය ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම පර්යේෂණ සමුළුවට සහභාගි විය.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් සිදු කරන ලදි.

මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ ප්‍රධාන දේශනයක් පැවැත්වූ අතර, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙලන්ඩ් හාට්වෙල් මහතා සිය ප්‍රධාන දේශනය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව යහපත් ලෝකයක් හැඩගැස්වීමට විසඳුම් සෙවීමට, අවබෝධය නැංවීමට සහ අනාගත පරපුරට යහපත් ලෝකයක් ලබාදීම වෙනුවෙන් අප දක්වන කැපවීමට සාක්‍ෂියක් වන බවත්, අසීමාන්තිකව දැනුම හඹා යාමෙන් සහ ඒ ඔස්සේ පර්යේෂණ උත්සාහයන් සිදු කිරීම තුලින් සාර්ථකත්වයට මඟ විවර කර ගත හැකි වන බවත් මෙම උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් වරයා ප්‍රකාශ කළේය.

"ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීම" යන තේමාව යටතේ විවිධ විෂය ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ තුලින් කරන ලද සොයාගැනීම් ඔස්සේ ලබාගත් දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව සලසාලමින් 2023 සැප්තැම්බර් 07 සහ 08 යන දිනවල මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සමාරම්භක සැසිවාරයෙන් ආරම්භ වන සමුළුවේදී ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය, ඉංජිනේරු තාක්‍ෂණය, වෛද්‍ය විද්‍යාව, පරිගණක විද්‍යාව, නීතිය, සම සෞඛ්‍ය විද්‍යාව, තාක්‍ෂණය, අපරාධ යුක්තිය, නිර්මිත පරිසරය හා ව්‍යවහාරික විද්‍යාව, කළමනාකරණය, සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර ඇතුළු විෂයයන් රාශියක් ඔස්සේ පූර්ණ සැසි, වාචික ඉදිරිපත් කිරීම් සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් සිදු කරනු ලබයි.

පර්යේෂණ දක්‍ෂතා දැක්වූ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ විශ්වවීද්‍යාලීය සිසුන්ට වාර්ෂික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීම ගරු සාගල රත්නායක සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ සුරතින් සිදු විය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ධම්මිකා විජයසිංහ සහ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) ඉන්දිකා විජේගුණවර්ධන, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති උදේනි රාජපක්‍ෂ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරු, උපකුලපතිවරු සහ පීඨාධිපතිවරු, අනෙකුත් විශ්වවිද්‍යාලවල කුලපතිවරු, උපකුලපතිවරු සහ නියෝජ්‍ය උපකුලපතිවරු, පීඨාධිපතිවරු සහ අධ්‍යක්‍ෂවරුන්, හමුදා නිලධාරීන්, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.