පාකිස්ථානයේ සහයෝගය ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

සැප්තැම්බර් 08, 2023
  • ආරක්‍ෂක ලේකම් 58 වැනි පාකිස්ථාන ආරක්‍ෂක හා දිවිපිදුවන් සැමරුම් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ

58 වැනි පාකිස්ථාන ආරක්‍ෂක සහ දිවිපිදුවන් සැමරුම් දින උත්සවය ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප් 07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

මෙම සැමරුම් දින උත්සවයේ පිළිගැනීමේ කතාව ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් විසින් පවත්වන ලදි.

මේ වසරේ 58 වැනි සංවත්සරය එළඹීමේ අවස්ථාව සනිටුහන් කරමින් සංවිධානය කරන ලද උත්සවයේදී ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථානය විසින් මෙරටට ලබාදෙනු ලබන අද්විතීය සහයෝගීතාවය පිළිබද ස්තූති කළේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ගැඹුරු මිත්‍රත්වයසහ සහයෝගීතාවය ඇතිකිරීමට ශ්‍රේෂ්ඨ පාකිස්ථාන හමුදා නිලධාරීන් විසින් ඉටුකරන ලද විශිෂ්ඨ කාර්ය භාරය පිළිබඳව සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රීලංකාවේ ආරක්‍ෂක හමුදාවන් වෙත ලබාදුන් විශිෂ්ඨ හමුදාමය දායකත්වය වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෙනුවෙන් ලබාදෙන පුහුණු ආධාර සඳහා සිය කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ හමුදා සම්බන්ධතා නිලධාරි, හමුදා නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් ද සහභාගී වූහ.