පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ

සැප්තැම්බර් 11, 2023

දිවයිනට බල පා ඇති වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව අද දින (සැප් 11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට සහ පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විටින් විට ඇති වන වැසි බලාපොරොත්තු විය හැකි බව එහි සඳහන් වේ.
 
ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කි.මී.40-45 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.
 
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථා වලදී තාවකාලිකව තද සුළං සහ මුහුදේ රළු ස්වභාවයක් අපේක්ෂා කළ හැකි බව එහි සඳහන් වේ.