ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා භටපිරිස්හි සේවය ඇගයේ

සැප්තැම්බර් 12, 2023

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) හමුදා සම්ප්‍රදායානුකූල පදක්කම් ප්‍රධානෝත්සවය පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ග්‍රීන්හිල් ‘Soedirman’ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදා දූත පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරල් ඇරොල්ඩෝ ලාසාරෝ (Major General Aroldo Lazaro Saenz) සමඟින් ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති අතිගරු කපිල සුසන්ත ජයවීර මහතා ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා සපැමිණි සම්භාවනීය අමුත්තන් 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ඔවුන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන හමුදා සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලැබීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති සහ අවශ්‍ය සේවා කාලය සම්පූර්ණ කර ඇති ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක භටපිරිස් ලෙබනනයේ සාමය පවත්වාගැනීම වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කරමින් මෙම පදක්කම් ඔවුන් වෙත පිරිනමනු ලැබීය.

අනුග්‍රහය - www.army.lk