යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට
වැටුප් හා දීමනා ලබාදීම සබැඳිව

සැප්තැම්බර් 12, 2023

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජිවිතාන්තය දක්වා එම දීමනා එලෙසම හිමිගැන්වීම සඳහා මෙම අමාත්‍යාංශය දැනටමත් අවශ්‍ය විධිවිධාන සලසා ඇත.

නමුත් දැනට පවතින විධිවිධාන අනුව ආබාධිත හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 එළඹිමට පෙර මියගියහොත් එම වැන්දඹුව වෙත ඉහත පරිදි වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් විසින් එම මියයැම ආබාධිත තත්වයේ සෘජු ප්‍රථිපලයක් නිසාවෙන් සිදුවී ඇති බව තහවුරු කල යුතුය.

අවස්ථානුගත කරුණු අනුව, වෛද්‍ය මණ්ඩලය විසින් එම මියයෑම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු  ප්‍රථිපලයක් බව තහවුරු කල නොහැකි හේතුවක් මත ආබාධිත හමුදා සාමාජිකයා මියගියහොත්, වැන්දඹුව වෙත හිමිගැන්විය හැක්කේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණි. මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින වැන්දඹුවන් වෙතින් ඔවුන් වෙතද වැටුප් හා දීමනා හිමිගන්වන ලෙස මෙම අමාත්‍යාංශය වෙත පසුගිය කාලසීමාව තුළදී සැලකිය යුතු ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් විය.

එම ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔවුන් වෙතද සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් විශ්‍රාමලත් ආබාධිත හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනියත බියක් ඇතිකර නොගත යුතු අතර, ඇතැම් පාර්ශවයන් විසින් මේ සම්බන්ධව ආබාධිත හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුල ව්‍යාකුල තත්වයන් ඇති කිරීමට උත්සහ කරන අවස්ථා නිරීක්‍ෂණය විය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වශයෙන් ඉදිරියේදී ද විශ්‍රාමලත් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් උපරිම වශයෙන් ක්‍රියාකරන බවද මින් වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි.