යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී

දෙසැම්බර් 17, 2020

ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය යුද හමුදා මූලස්ථානයේ 56 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ඊයේ (දෙසැම්බර් 16) දින වැඩ භාරගන්නා ලදි.

1985 ඔක්තෝබර් 07 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වූ ඔහු 1986 ජූලි 24 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් විය.

යුද හමුදාවේ වසර 35 ක සේවා කාලය තුළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවා ඇති අතර යුද හමුදා වුෂු කමිටුවේ වත්මන් සභාපතිවරයා වේ.

මේජර් ජෙනරාල් දෙමටන්පිටිය සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර පාකිස්තානයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති සහ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.

ඔහු නව පත්වීම භාර ගැනීමට පෙර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස සේවය කරමින් සිටියේය.

නව පත්වීම වෙනුවෙන් සුභ පැතීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පිරිසක් එම අවස්ථාවට පැමිණ සිටියහ.