අයහපත් කාලගුණය තවදුරටත්

ඔක්තෝම්බර් 01, 2023
  •    උපරිම වර්ෂාපතනය කොළඹ කොටුවෙන් වාර්තා වේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (ඔක් 01) දහවල් නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

මේ අතර, ගත වූ පැය 24 තුළ මිලිමීටර් 138.5 ක් වූ උපරිම වර්ෂාපතනය කොළඹ කොටුවෙන් වාර්තා විය.

සුළං නිරිත දෙසින් හමන අතර, පුත්තලම සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30 - 40 වන අතර, එය පැ.කි.මී. 50 – 60 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ වාර්තාවෙහි සඳහන් වේ.