අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් අයවලුන්ට කඩ්නම් සහන
- ආරක්‍ෂක රාජ්‍ය ඇමති පවසයි

ඔක්තෝම්බර් 02, 2023
  • අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් බව ද පවසයි

දැනට ශ්‍රි ලංකාව තුල පවත්නා අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ඔක් 02) දින කොළඹ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ වන විට සුරැකුම් මධ්‍යස්ථාන 07 ක, ආපදාවට පත් පවුල් 66 කට අයත් පුද්ගලයින් 267 දෙනෙකු වෙනුවෙන් පහසුකම් සපයා ඇති අතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාල නිලධාරින්ගේ මැදිහත්වීමෙන් කඩිනම් සහන සැලසීමට කටයුතු කර ඇත. තවද මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 23 ක් සඳහා හදිසි ප්‍රතිචාර වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. ආපදා තත්ත්වයේදී අලාභ හානි වන නිවාස පිළිසකර කිරිම් කටයුතු සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

මේ වන විට කුකුලේගඟ සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු එක බැගින් විවෘත කර ඇති බැවින්, එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා සිටී. අත්තනගලු ඔය, ගිං ගඟ සහ නිල්වලා ගඟ ද්‍රෝණි ප්‍රදේශවලට සහ කළුගගේ උප ද්‍රෝණිය ප්‍රදේශයට ගංවතුර අවධානම් නිවේදන නිකුත් කර ඇත. එබැවින් එම ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් හදිසි ජලගැලීම් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන ලෙස දන්වා සිටි.   

මිට අමතරව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත හා කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාර්තාවලට අනුව, පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින දෙක තුලදී ද බලාපොරොත්තු විය හැකිය.

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අපදා තත්වයකට මුහුණදීම සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකාය සුදානම් කර ඇති බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.