අයහපත් කාලගුණය තවදුරටත් පවතිනු ඇති බවට අනාවැකි

ඔක්තෝම්බර් 04, 2023

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (ඔක් 04) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැක්වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට දෙවන මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගත වූ පැය 24 තුළ මිලි මීටර් 98ක උපරිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා විය.