ආරක්‍ෂක ලේකම්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන කමාන්ඩෝ විරුවෙකුට
කෘතීම පාදයක් ලබා දෙයි

ඔක්තෝම්බර් 04, 2023

වැලිඹය ප්‍රදේශයේ අකුණු පහර ක්‍රියාන්විතයේදි ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දකුණු පාදය අහිමි වී රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වන සැරයන් මේජර් ආර්.පී.සී. ධර්මප්‍රිය වෙත කෘතීම පාදයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අද (ඔක් 04) පරිත්‍යාග කරන ලදි.

ජෙනරල් ගුණරත්නගේ ජන්ම දිනය නිමිත්තෙන් සිදුකරන පුණ්‍ය කටයුත්තක් ලෙස චිත්‍රානී ගුණරත්න මහත්මිය සහ දියණිය කාංචනා ගුණරත්න මෙනවියගේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් රුපියල් එක්ලක්‍ෂ හැට දෙදහසකට වඩා වටිනා මෙම කෘතීම පාදය රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධිකරණයෙන් සකසාදීමට කටයුතු කරනු ලැබීය.

දේශයේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය සහ නිදහස වෙනුවෙන් තම තරුණ දිවිය, ඇස්, ඉස්, මස්, ලේ කැප කළ රටට ණය නැති රටම ණයගැති දේශයේ විරුවකු වෙනුවෙන් මෙම උදාරතර පුණ්‍යකර්මයට දායකවීමට ලැබීම මහඟු අවස්ථාවක් බව චිත්‍රානී ගුණරත්න මහත්මිය සභාපති තුමන් හමුවේ ප්‍රකාශ කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, වැඩසටහන් නිලධාරීනී නෙත්මි ගයශ්‍රී මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.