කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වජ්‍ර ජයන්තිය සමරයි

ඔක්තෝම්බර් 04, 2023

ආර්ථික අංශ රැසකට දැඩි බලපෑමක් ඇති කරන රජයේ ප්‍රමුඛතම ආයතනයක් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 75 වන වර්ෂ පුර්ණ සැමරුම් උත්සවය අද (ඔක් 04) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.

සංවත්සර දින වැඩසටහනට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ. කේ. කරුණානායක මහතා විසින් පිළිගන්නා ලදි.

මෙහි උත්සව සභාව ඇමතු රාජ්‍ය අමාත්‍යවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු සේවාවන් හරහා ලැබෙන ආදායම, දැනට භාවිත වන තාක්‍ෂණික උපකරණ වැඩිදියුණු කිරීමටත්, එම විෂය සම්බන්ධ තාක්‍ෂණික විශේෂඥයන්ගේ දැනුම වර්ධනයටත් ආයෝජනය කිරීම තුලින් වඩාත් ඵලදායී සහ ජනතාවට සමීප සේවාවක් ලබාදීමට හැකි වන බවත් අවධාරණය කළේය.

නවීන ලෝකයේ නැඟී එන තාක්ෂණික දියුණුව අනුගමනය කරමින් ආපදාවලට මුහුණදීමට සහ ආපදා අවම කිරීමට අත්‍යවශ්‍ය වන කාලගුණික පුරෝකථන සැපයීම තුලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය වසර 75 තුළ රට වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් ඉටු කර ඇත.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජි. ධර්මතිලක මහතා, නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී  ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.