කර්නල් නලින් හේරත් RSP ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙහි වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගනී

ඔක්තෝම්බර් 06, 2023

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත්, එම ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කිරීමෙන් අනතුරුව, ඊයේ (2023 ඔක්තෝම්බර් 5) දින නව ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදි.

කර්නල් හේරත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ රාජකාරීන්ට අමතරව මෙම නව තනතුර සඳහා ද පත්කර ඇත.

වසර 28කට වැඩි සිය හමුදා සේවා කාලය තුල මාණ්ඩලික, උපදේශණ සහ පරිපාලන තනතුරු හොබවා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන කර්නල් නලින් හේරත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රවීණ උපදේශකවරයෙකු ද වේ. ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල පවතින අභියෝගාත්මක පරිසරයන් තුල අන්තර්ජාතික නියෝජිත කණ්ඩායම් කළමනාකරණය කිරීම, මෙහෙයවීම සහ උපාය මාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා කීර්තියට පත් දක්‍ෂ නිලධාරියෙකි.

තවද, කර්නල් හේරත් අභිප්‍රේරණ කථිකයෙකු, කථිකාචාර්යවරයෙකු සහ දක්‍ෂ කතුවරයෙකු වන අතර, ඔහු විසින් "Globe in a nutshell" සහ "Geological Alliances and rivalries Set in Stone" යන ග්‍රන්ථ දෙක රචනා කර ප්‍රකාශයට පත්කර ඇත. ඔහුගේ නායකත්වය, බහුවිධ හැකියාවන් සහ සේවය සඳහා වන කැපවීම ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ඉදිරි දියුණුව සඳහා වටිනාකමක් එක් කරන්නේය.