ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් වර්ෂාව හමුවේ ගංවතුරින් විපතට පත්වූවන්ට
කඩිනම් සහන සලසයි

ඔක්තෝම්බර් 07, 2023

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් සඳහා හදිසි ගංවතුර සහනාධාර සැපයීම සඳහා 61 වන පාබල සේනාංකය යටතේ සිටින යුද හමුදා භට පිරිස් යුහුසුළුව ක්‍රියා කරමින් සිටී.

ගංවතුර නිසා ඇති වන සේදී යාම සහ ඒ ඔස්සේ මාලිම්බොඩ ප්‍රදේශයේ පහත් බිම්වලට හානි වීම වැලැක්වීම සඳහා භට පිරිස් විසින් සුල්තාන්ගොඩ - වරකාපිටිය මාර්ගයේ වැලි කොට්ට ඇතිරීම මගින් සිදු වීමට ගිය විශාල විනාශයක් වළක්වා ගත් බව යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

එමෙන්ම විවිධ රෝගාබාධ හේතුවෙන් අසනීප තත්වයේ පසු වූ පුද්ගලයින් කිහිප දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන යාමට ද භට පිරිස් සහාය වී ඇත. ගංවතුරින් විපතට පත් ප්‍රජාවන්ට පිසූ ආහාර ද භට පිරිස් විසින් සපයනු ලබන බව යුද හමුදා මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.