දිස්ත්‍රික්ක කිහිපයකට රතු නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඔක්තෝම්බර් 08, 2023
  • නිල්වලා ගංගා ද්‍රෝණි ප්‍රදේශයට රතු ගංවතුර අනතුරු ඇඟවීමක්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ 3 වන මට්ටමේ (රතු) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, ගාල්ල සහ ඉමදුව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස සහ හක්මන යන ප්‍රදේශවලට රතු නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මීට අමතරව කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට ද 1 වන (ඇම්බර්) සහ 2 වන (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

නිල්වලා ගංගා ද්‍රෝණි ප්‍රදේශයට රතු ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ගිංගඟ, කුඩාගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ වලට ද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

තවද නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ වාර්තාවෙහි සඳහන් වේ.

 ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව තවදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.