එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය රාජ්‍ය අමාත්‍යවරිය
ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගනී

ඔක්තෝම්බර් 10, 2023

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (ඔක්. 10) අලුයම මෙරටට පැමිණි එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් රාජ්‍ය අමාත්‍ය ගරු. ඈන්-මේරි ට්‍රේවෙල්යන් මැතිණිය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ගරු ඇන්ඩෲ පැට්‍රික් මහතාද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සමඟ එක්විය.

හෙට (ඔක්. 11) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර කලාපීය සංගමයේ 23 වන අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා රාජ්‍ය අමාත්‍ය ට්‍රේවෙල්යන් මැතිණිය ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාව මෙවර අමාත්‍යවරුන්ගේ සැසි වාරය සඳහා සත්කාරකත්වය දක්වන අතර ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම (“Strengthening Regional Architecture: Reinforcing Indian Ocean Identity”) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.

තවද මෙම කවුන්සිලයේ වත්මන් සභාපතිත්වය දරණ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ වසර දෙකක සභාපති ධුර කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මෙහි සභාපතිත්වය භාරදීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.