අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම පිළිබඳ සාකච්ජාවක්
කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී

ඔක්තෝම්බර් 11, 2023

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

ආපදා තත්ත්වයකදී, ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම, මිනිස් ජීවිත රැකගැනීම සහ දේපල හානි වළක්වා ගැනීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ජා කරනු ලැබීය.

විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී එම ප්‍රදේශවලට ඔරොත්තු දෙන ආකාරයේ ශක්තිමත්, ප්‍රමිතියකින් යුතු පැල යොදා ගැනීමට අදාල ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍යතුමා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

කෙටිකාලීන විසඳුමක් ලෙස විශේෂයෙන්ම කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා ඊට සිවිල් ආරක්‍ෂක බලකායේ සහයෝගයද ලබාදිය හැකි බව පැවසීය.

තවද තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදානම් සහිත ගස් හඳුනා ගැනීම, ඒවා මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාල දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීම පිළිබඳව සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදා ගන්නා තාක්‍ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන ලෙසත්, ඊට අදාල තාක්‍ෂණික සහය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතන වලින් ලබාගැනීමටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.