වර්ෂාව තවදුරටත්-කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව

ඔක්තෝම්බර් 12, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (ඔක් 12) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියේ පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක . ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව ද එම වාර්තාව අනාවැකි පළ කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත ස්භාවයක් අපේක්ෂා කළ හැක.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 105.8 ක් බගවන්තලාවෙන් වාර්තා විය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ හක්මන, පිටබැද්දර සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 3 වන මට්ටමේ රතු නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයට ඇතුළත් වේ.