පාසල් ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුම්

මැයි 06, 2019

පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ. අපි ආරක්ෂක තත්ත්වය නිසි ලෙස තක්සේරු කර ඇති අතර සියලුම පාසල් ආවරණය වන පරිදි අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගෙන තිබේ. ජනතාවගේ සිතෙහි පවතින බිය තුරන්වන තෙක් සහ රටෙහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වන තෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් යම් අදහස් හා යෝජනා ඇත්නම් ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය වෙත ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.මෙම අදහස් පලකලේ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඉරිදා (මැයි 05) දින සන්ධ්‍යාවේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙන කටකතා සහ අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසත් නිසි බලධාරීන් විසින් නිකුත්කරනු ලබන පුවත් පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසත් එතුමන් වැඩිදුරටත් පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සන්නද්ධ හමුදාවල ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමයි. අතීතයේ දී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට බේරාගත් අය ලෙස අප කෙරෙහි විශ්වාසය තබන්න. අප දුර්වල නොවි ජාතියක් ලෙස එකට නැගී සිටිය යුතු අතර, සියලු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

නාවික හමුදාව විසින් කළුතර උතුර දුම්රිය ස්ථානයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව පළදින ආකාරයේ කැලෑ ඇදුම් වලට සමාන ඇඳුම් කට්ටල 7 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝ පට ළඟ තබාගත් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එවැනිම වීඩියෝ පට ළඟ තබාගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තවද පාසැල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා සිදුකරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් වලදී නාවික හමුදාව සිය පූර්ණ දායකත්වය ලබාදී තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මේ බව පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරයි. දිවයිනේ සියලුම පාසල් ආරක්ෂක කටයුතු සඳහා කලාප 21 කට බෙදා වෙන් කර ඇති අතර එයින් කලාප තුනක සහ අනු කලාපයක පාසල් වල ආරක්ෂාව ගුවන් හමුදාවට පවරා ඇත. එම පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු අතිරේක ආරක්ෂක පියවරක් ලෙස ගුවන් හමුදා භටපිරිසක් එම පාසල් අසල රාජකාරියේ යෙදවීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අනාවරණය කළේය.

කොළඹට ඇතුළුවන ප්‍රධාන පාලම සහ ගුවන් පාලම පුපුරවා හැරීමේ සැලැස්මක් ගැන සඳහන් ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. පොලිසිය වෙත ලැබුණු තහවුරු නොකරන ලද මුලික තොරතුරක් පිළිබඳ බලධාරීන් ගේ අවධානය සඳහා මෙම ලිපිය යොමුකර තිබේ. නමුත් එම තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනාවරණය වී තිබේ. එම නිසා මේ පිළිබඳව මහජනතාව බියට පත් නොවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොල්ලුපිටියේ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඉරිදා දින සිදුකල විශේෂ මෙහෙයුමක දී කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල සියලුම පාසල් පරීක්ෂා කරන ලදී.

ඩුබායි හි අත්අඩංගුවේ සිට පිටුවහල් කරන ලැබූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදුෂ් ඉරිදා උදෑසන (මැයි 05) දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපලේ සේවයේ නියුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද අපරාධකරුවෙකු වූ මධුෂ් අත්අඩංගුවට ගෙන පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ගෙනවිත් භාරදී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි. ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් ඔහු 2015 ජුනි මස මෙරටින් පිටව ගොස් තිබේ. මධුෂ් විසින් සිදුකළ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.