යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ 771 වන නව නිවස නිවාසලාභී පවුල වෙත පවරා දෙයි

ඔක්තෝම්බර් 17, 2023

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘Imagine Compassion International Ltd’ ආයතනය වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උරුම්පිරායි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය. නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ 771 වන නිවස ලෙස මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.

ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් සමන්විත දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍ය‍යේ යාපනය අර්ධද්වීපයේ දිවිගෙවන නිවසක් නොමැති සැමියා අහිමි පවුලක් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 523 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත නව නිවස ඉදිකරනු ලැබීය.

යුද්ධ හමුදාවේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතුන් සමඟ සාකච්ඡා කර නව නිවස ඉදිකර දීමට අවශ්‍ය පවුල තෝරාගනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් නිවාසලාභී පවුල වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබූහ. නව නිවස ඉදිකිරීම සඳහා 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ 5 ඉංජිනේරු සේවා බලකා භටපිරිස්හි ශ්‍රම දායකත්වය හිමිවූහ.

‘Imagine Compassion International’ සමාගම විසින් සපයන ලද මූල්‍යමය දායකත්වය මත භටපිරිස් විසින් මාස දෙකක් වැනි කෙටි කාල සීමාවක් තුළ නව නිවසේ ඉදිකිරීම් අවසන් කරන ලදී.

523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.බී.එල්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ එක්ව මෙම ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරනු ලැබීය.

අනුග්‍රහය - www.army.lk