11 වන ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව
කොළඹදී ආරම්භ වෙයි

ඔක්තෝම්බර් 18, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර, එකළොස් වන වරට පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡා වාරය ඊයේ (ඔක් 17) කොළඹදී ආරම්භ විය.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දූත මණ්ඩල ප්‍රධානියා ලෙස අධ්‍යක්‍ෂ  ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ කටයුතු කරන අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස රියර් අද්මිරාල් නිර්භයි බප්නා (Nirbhay Bapna) විසින් මෙහෙයවනු ලබන බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මූලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, පුහුණු හුවමාරුව සඳහා පහසුකම් සැලසීම, තාක්‍ෂණික දැනුම සහ තොරතුරු හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම, ජලමාණක ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස සැලසුම් කිරීම ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක විෂයයන් ඔස්සේ සාකච්ඡා සිදුකෙරෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

තෙදිනක් මුළුල්ලේ පැවැත්වෙන මෙම මාණ්ඩලික සාකච්ඡා වාරය හෙට (ඔක් 19) අවසන් වේ.