අයහපත් කාලගුණය තවදුරටත්

ඔක්තෝම්බර් 19, 2023

අද (ඔක් 19) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකිය.

බස්නාහිර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවන්හිදී එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං අපේක්ෂා කෙරෙන අතර සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය වන මිලිමීටර් 130.6 කුරුණෑගල හිඳව ප්‍රදේශයෙන් වාර්තා විය.

හෙට (ඔක්. 20) සිට ඉදිරි දින කිහිපයේ බෙංගාල බොක්ක මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත.

මේ හේතුවෙන් එම කලාපයේ ඇති විය හැකි වෙනස් වන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට තද වැසි බලාපොරොත්තු විය හැක.

සුළගේ දිශාව විටින් විට වෙනස් වන අතර ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හමන සුළගේ වේගය පැ.කි.මී. 20-30 අතර විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.