ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබුගස්දමන රක්ෂිතයට බීජ බෝම්බ හෙළයි

නොවැම්බර් 01, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන, බීජ බෝම්බ හෙලීමේ ව්‍යාපෘතියේ 8 වැනි අදියර යටතේ අක්කර 50ක භූමි ප්‍රදේශයකට බීජ බෝම්බ 80,000ක් පසුගියදා (ඔක්. 30 සහ 31) හෙළනු ලැබීය. මෙම බීජ බෝම්බ අනුරාධපුර ලබුගස්දමන රක්ෂිතයේ ඉලක්කගත ප්‍රදේශයකට හෙළීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා එම්.අයි - 17 හෙලිකොප්ටරයක් යොදා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වන ගහනය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා MAS සමුහ ව්‍යාපාරය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙම බීජ බෝම්බවල කෝන් (Schleicher Oleosa), කොහොඹ (Azadirachta Indica), මයිල (Bauhinia Racemose), මා දං (Syzygium Cumini), සියඹලා (Tamarindus Indica), මී (Madhuca Longifolia), පලු (Manilkara Hexandra), කුඹුක් (Terminalia Arjuna), කාය (Swietenia Macrophylla), බුළු (Terminalia Belerica), කිතුල් (Caryota Urens), මුනමල් (Mimusops Elengi), කරඳ (Millettia Pinnata) සහ කැටකෑල (Bridilia Retusa) වැනි දේශීය ගස්වල බීජ අඩංගු වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරුණු පළමු අදියරේදී රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 5 ක භූමි භාගයකට බීජ බෝම්බ 5000 ක් හෙළනු ලැබීය. පසුව ක්‍රම ක්‍රමයෙන් එම ප්‍රමාණය වැඩි කරමින් 7 වන අදියරේදී කැබිලිත්ත වත්තේගම වනාන්තරයේ අක්කර 80ක භූමි භාගයකට බීජ බෝම්බ ලක්ෂයක් හෙලීම සිදු විය.

භූමියෙන් ලඟා වීමට අපහසු වනාන්තර ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ වලට මෝසම් වැසි සමයේදී ගුවනින් බීජ බෝම්බ හෙලීම සිදුකරනු ලබන අතර එමඟින් බීජ වල පැවැත්මේ හැකියාව වැඩි වේ.