ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

නොවැම්බර් 03, 2023

ඉන්දියානු නාවික හමුදාව විසින් සිව් වන වරට සංවිධානය කරන ලද ගෝව සමුද්‍රීය සමුළුව - 2023 (Goa Maritime Conclave – 2023), 2023 ඔක්තෝබර් මස 29 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික පාසලේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

‘Maritime Security in the Indian Ocean Region: Converting Common Maritime Priorities into Collaborative Mitigating Frameworks යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා, ඉන්දියානු සාගර කළාපයට අයත් ශ්‍රී ලංකාව, බංගලාදේශය, කොමරූස් ඉන්දුනීසියාව, මැඩගස්කරය, මාලදිවයින, මැලේසියාව, මුරුසිය, මියන්මාරය, ෂිශේල්ස්, සිංගප්පුරුව සහ තායිලන්තය යන රටවල් 12ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්/සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් සහභාගි වී සිටියහ. එහිදී, ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය ගරු ශ්‍රී රාජ්නාත් සිං (Defence Minister of India, Honorable Shri Rajnath Singh) සහ විදේශ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී විසින් විශේෂ දේශන පැවැත්වීම සිදුකෙරිණි.

මෙම සමුළුව ඉන්දීය සාගර කළාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු නීති විරෝධී කටයුතු සාමූහිකව අභිබවනය කිරීම සඳහා පාර්ශව කරුවන්හට අදහස් හුවමාරු කර ගැනීමට ඉතා හොඳ අවස්තාවක් උදා කර තිබූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහිදී සමුළුව අමතමින් ‘Maritime Security in the Indian Ocean Region: Converting Common Maritime Priorities into Collaborative Mitigating Frameworks – A Sri Lanka’s perspective යන තේමාව යටතේ කාලීන වශයෙන් වැදගත් දේශණයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. එහිදී ඉන්දීය සාගර කළාපයේ පවත්නා සංකීර්ණ අභියෝග ජයගැනීම සඳහා නිරන්තර අවධානය සහ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවය අවශ්‍ය බව පැවසු නාවික හමුදාධිපති, ඉන්දීය සාගරය ඔස්සේ ඇති සමුද්‍රීය ගමන් මාර්ග හා ඒ ඔස්සේ සිදුකෙරෙන ජාත්‍යන්තර වෙළඳාම සඳාහා ඇති අභියෝග, ඉන්දියානු සාගර කලාපීය රාජ්‍යන්ගේ දේශ සීමා ගැටුම්, ඉන්දියානු සාගර කලාපය තුල වර්ධනය වන නීති විරෝධී අවි ජාවරාම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග පිලිබඳ සමුළුව වෙත අදහස් දැක්වීම සිදුකෙරිණි. එමෙන්ම, පිළිගත් ගෝලීය සමුද්‍රීය නීතිමය රාමුව අභියෝගයට ලක්වීම සහ ‍දේශගුණික විපර්යාස මඟින් ඉන්දියානු සාගර කලාපයේ වෙරළබඩ රාජ්‍යන් වෙත ඇතිකරන බලපෑම් පිලිබඳ අදහස් දැක්වූ නාවික හමුදාධිපති, දූපත් රාජ්‍යක් වශයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව පිලිබඳ ඇති ජාත්‍යන්තර බැඳීමට අනුව ඒ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීම සිදුකෙරිණි. තවද, මෙවැනි අභියෝග ජයගැනීම සඳහා කලාපීය හා කලාපීය නොවන සමුද්‍රීය පාර්ශවකරුවන්ගෙන් සුසැදි බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාවය අවධාරණය කල නාවික හමුදාධිපති, ඒ සඳහා මෙවැනි සමුළු මෙන්ම පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කල ගාලු කතිකාව අනතර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය වැනි සමුද්‍රීය සම්මන්ත්‍රණ මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇති බවත් පවසන ලදී.

එමෙන්ම, ගෝව සමුළුව ඉතා උසස් අන්දමින් සංවිධානය කිරීම සහ එම සමුළුව ඇමතීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් ඉන්දීය නාවික ප්‍රධානී වෙත සිය කෘතඥතාවය පුද කිරීමද එහිදී සිදු කෙරිණි.

මෙම සමුළුවට සමගාමීව ඉන්දිය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් (Admiral R. Hari Kumar), ඉන්දීය නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරි වයිස් අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Vice Admiral Dinesh K Tripathi) සහ ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරි වයිස් අද්මිරාල් එම්.ඒ හම්පිහෝලි (Vice Admiral M.A. Hampiholi) යන ජේය්ෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර ද්විපාර්ශවික හමුවන් පැවැත්වුනු අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලී සබඳතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.

මෙම සමුළුවට සමගාමීව ඉන්දියානු නාවික හමුදා නෞකා නිශ්පාදන කර්මාන්තයේ නව නිපැයුම් නැරඹීමේ අවස්තාවට ද නාවික හමුදාධිපති එක් වූ අතර, ඉන්දියානු සාගර කළාපීය රාජ්‍යයන්ගේ නාවික හමුදා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය බලකා ප්‍රධානීන් සහභාගී වූ ගෝව සමුද්‍රීය සමුළුව සඳහා සහභාගි වීම මඟින් වැඩිදියුණු වන අන්‍යෝන්‍ය සහයොගීත්වය සහ ජාත්‍යන්තර සබඳතා තුළින් ඉදිරියේ දී ඉන්දියානු සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දක්වමින්, ඉන්දියානු සාගර කළාපීය ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පාර්ශවකරුවන් හට අවස්ථාව සැලසෙනු ඇත.

අනුග්‍රහය - www.navy.lk