නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

නොවැම්බර් 06, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 නොවැම්බර් 03 මස වන දින සවස් කාලයේ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05), ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේදී, 2023 නොවැම්බර් මස 03 වන දින සවස් කාලයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සහ සැකකරුවන් පස් දෙනෙකු (05) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් සිදුකල පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථයක් (01) සහ යතුරු පැදියක් (01) ද එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් පස්දෙනා (05), රත්‍රං කිලෝ දෙකයි (02) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගය, ඩිංගි යාත්‍රාව (01), ත්‍රීරෝද රථය (01) සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

අනුග්‍රහය - www.navy.lk