නාවික හමුදාව මඟින් ගාල්ල දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ
අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

නොවැම්බර් 06, 2023

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදිකර ඇති දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 නොවැම්බර් මස 02 සහ 03 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇදහැලෙන තද වැසි තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිංගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා, 2023 නොවැම්බර් මස 02 සහ 03 දෙදින දකුණු නාවික විධානය මඟින් විශේෂ මෙහෙයුමක් සිදුකෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, වාරිමාර් ග දෙපාර්තමේන්තුවේ හා ආප‍දා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව, දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය ක‍ටයුතු සිදුකිරීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවදානම මඟහැරවීමට කටයුතු කෙරිණි.

අනුග්‍රහය - www.navy.lk