අද සවස් කාලයේ බොහෝ පළාත්වලට වැසි ඇති විය හැකි බවට කාලගුණ අනාවැකි

නොවැම්බර් 06, 2023
  • දැදුරු ඔයේ පහත බිම් වලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ. 6) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බොහෝ පළාත්වල පස්වරු 02.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි සඳහන් වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

 ගතවූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 146.9ක් ලෙස අනුරාධපුරයෙන් වාර්තා විය.

 එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 2 මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 1 මට්ටමේ (කහ) නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

 මේ අතර දැදුරුඔය ගංගා ද්‍රෝණියේ ඉහළ/මැද/පහළ ජල පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශ වලට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දැනට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘතව පවතින අතර තත්පරයට ඝන අඩි 17,000ක ධාරිතාවයකින් ජලය පිට කෙරේ. මේ හේතුවෙන් දැදුරුඔය නිම්නයේ පහත් බිම්වල පිහිටා ඇති වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක. එබැවින් එම ප්‍රදේශ වල පදිංචිකරුවන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.