'ආරක්‍ෂක උපාය මාර්ග උදෙසා අවශ්‍ය කෙරෙන දැනුම සහ තාක්‍ෂණික දියුණුව අඛණ්ඩව ලබාගැනීම අප කාගේත් ප්‍රධාන කාර්ය භාරයකි' - ආරක්‍ෂක ලේකම්

නොවැම්බර් 13, 2023

“වර්තමානයේ ඇති වී තිබෙන සහ අනාගතයේ ඇති විය හැකි විෂමාකාර මෙන්ම අනපේක්‍ෂිත ඕනෑම ගැටුමක් සඳහා මුහුණ දිය හැකි වන පරිදි අපගේ සන්නද්ධ හමුදාවන් නවීනතම මෙවලම් සහ තාක්‍ෂණයෙන් සන්නද්ධ විය යුතුය.”

අද (නොවැ. 13) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැති ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සාමාජික සහතිකය සහ හැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේය.

ආරක්‍ෂක ලේකම් වරයාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය, ත්‍රිවිධ හමුදාවන්ටම පොදු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාකිරීමට පහසුකම් සලසන අතර, අනන්‍යොන්‍ය වෘත්තීය සහයෝගීතාව වැඩිදියුණු කරයි.

මෙම උත්සවයේදී ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා අතින් ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය සඳහා වන සාමාජික සහතිකය සහ හැඳුනුම්පත ලබාගැනීම සිදුකෙරිණ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සභාපති ආචාර්ය රියර් අද්මිරාල් රවී රණසිංහ, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයේ උපදේශක ජෙනරල් රේණුක රොවෙල් (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.