ප්‍රංශ තානාපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සබඳතා
ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක

නොවැම්බර් 15, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා අද (නොවැ. 15) උදෑසන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.

අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් තානාපතිවරයාව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙරට අතර, පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් සාකච්ඡාවක ද නිරත විය.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ආරක්‍ෂක සහයෝගිතාවය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ඉහළ උපයෝගිතා ආපදා ප්‍රතිසාධනය (HADR) යන ක්ෂේත්‍රවල උපායමාර්ගික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය කැපවීම ආදී දෙපාර්ශවයටම වැදගත් කරුණු පිළිබඳව අවධානයට ලක්විය.

මෙරට විවිධ ක්ෂේත්‍රයන් සඳහා ප්‍රංශ රජය විසින් දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාව පළකල රාජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කළේය.

ප්‍රංශ තානාපතිවරයා සමඟ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී, Marie-Noëlle Duris මහත්මිය සහ සමුද්‍රීය ආරක්‍ෂාව භාර ප්‍රංශ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.